ඔබගේ සැකසුම් වෙනස් කරගන්න

දත්ත ආරක්ෂා කරගැනීම සඳහා

අන්තර්ජාලය යනු හුදෙක්ම ඩයිනෝසර ඇඳුම් ඇඳ සිටින බල්ලන්ගේ පිංතූර හුවමාරු කරගන්නා අවකාශයක් පමණක් නම්, මුරපදවල අවශ්‍යතාවක් එතරම් මතුවන්නේ නැහැ.

එහෙත්, අන්තර්ජාලය යනු ඔබ බිල්පත් ගෙවන, අයදුම්පත් පුරවන සහ විවිධ කටයුතු සඳහා ලියාපදිංචි වන තැනක්.

ඔබගේ උපකරණවල ගබඩා කරගෙන තිබෙන හා අන්තර්ජාලය ඔස්සේ බෙදාහදාගනු ලබන ඔබගේ සියලු “අතථ්‍ය දේපල” ගැන සිතන විට ඇයි ඔබ ඒවා ඔබගේ පසුම්බිය හෝ යතුරු තරම් ආරක්ෂිතව තබා නොගන්නේ?

ඔබගේ අතථ්‍ය දේපල වෙත වෙනත් අයට පිවිසෙන්නට නොහැකි වන පරිදි ඒවා සැකසීම එක් සරල පියවරකින් කරන්නට පුළුවන්: ඔවුන්ට ඔබගේ මුරපද අනුමාන කරගැනීම පහසු කරන්න එපා. ඔබගේ ගිනුමට පිවිසීම සඳහා බොහෝ දෙනාට විශේෂිත තාක්ෂණික ඥානයක් අවශ්‍ය නැහැ. ඔබගේ මුරපද ගැන අනුමාන කීපයක් කිරීමෙන් හෝ ස්වයංක්‍රීය වැඩසටහනක් මගින් ඔවුන්ට ඒවා දැනගත හැකියි.

ඔවුන් එක ගිනුමකට පිවිසුණු විට, ඔවුන්ට අනෙකුත් ගිනුම්වල මුරපද අනුමාන කරගන්නටත්, ඔබ සහ ඔබගේ පුරුදු ගැන තොරතුරු එක්රැස් කරගන්නටත් පුළුවන්. එමගින් ඔබගේ ගිනුම් අත්පත් කරගන්නට පමණක් නොව, ඔබගේ ඩිජිටල් අනන්‍යතාව භාවිතා කරන්නටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා.

මෙම දත්ත විෂහරණ කට්ටලය අනුගමනය කිරීමෙන්, අන්තර්ජාල ආරක්ෂාව වැඩි කරගැනීමේ ප්‍රායෝගික පියවර ඔබ ඉගෙන ගන්නවා.

අපි පටන් ගනිමු.


1. ඔබගේ ඩිජිටල් දොරටුවට අගුලු දමන්න

තිර අගුලු - Screen locks: ඔබගේ උපකරණයට පිවිසීම සඳහා භාවිතා කරනු ලබන මුරපදය (password), රටාව, ඇඟිලි සලකුණ හෝ මුහුණ හඳුනාගැනීම ඔබගේ උපකරණයට පිවිසීමට යත්න දරන වෙනත් අයකුට එරෙහිව ඔබගේ හොඳම ආරක්ෂාවන් වේ. එහෙත්, එකිනෙකට වෙනස් වර්ග රැසක් තිබෙන නිසා ඔබට ගැලපෙන්නේ කුමක්දැයි හඳුනාගැනීම අමාරු විය හැකි ය.

ඔබගේ දුරකථනයේ, ටැබ්ලටයේ හෝ පරිගණකයේ කිසියම් අගුලක් යොදා තිබීමෙන් කිසිම අගුලක් යොදා නොතිබීමට වඩා ආරක්ෂාවක් ලැබේ. එහෙත්, ඔබගේ නිවසේ දොරට දමන අගුල් මෙන් ම, ඇතැම් තිර අගුල් වෙනත් අගුල්වලට වඩා ශක්තිමත් ය.

තිබෙන සියලු අගුලු අතරින්, දිගු, සුවිශේෂ මුරපදයක් වඩාත්ම ශක්තිමත් වේ. එයින් අදහස් වන්නේ, ඔබ ඔබගේ උපකරණය මුරපදයක් මගින් අගුලු හරින්නේ නම්, එම මුරපදයට අකුරු, ඉලක්කම් සහ විශේෂ සලකුණු ද ඇතුළත් විය යුතු බවයි.

ඔබගේ දුරකථනය විවෘත කරගැනීමට තිරය මත සරල ඇඟිලි චලනයක් පමණක් භාවිතා කරන්නේ යයි සිතන්න. දිගු මුරපදයක් භාවිතා කිරීමෙන් ඔබට ආරක්ෂාව ඉහළ නංවාගන්නට පුළුවන්. ඔබ දැනට පාවිච්චි කරන්නේ රටා අගුලක් ද? එම රටාව දිගු කරන්න. ඔබ අගුල ලෙස භාවිතා කරන්නේ 1234 ද? දාදු කැටයක් සත් වරක් දමා එයින් ලැබෙන අංකය මතක තබාගැනීම ඊට වඩා හොඳයි නේද?

ඔබගේ උපකරණ පාලනය කරගැනීම සම්බන්ධයෙන් ගත් කල පුංචි වෙනසකින් ලොකු දුරක් යා හැකියි.

ශක්තිමත් ම තිර අගුලු නිර්මාණය කරගැනීම සඳහා "ඔබගේ තිර අගුලු (Screen Locks) ශක්තිමත් කරගන්න" බලන්න.


2. හරි මුරපදය දමාගන්න

ඉහළ පෙළේ මුරපදයක් දමාගැනීම පහසු කාර්යයක්. ඔබ කළ යුතුව තිබෙන්නේ මූලික මූලධර්ම කීපයක් අනුගමනය කිරීම පමණයි.

ඔබේ මුරපදය

  • දීර්ඝයි: මුරපදයක අවම වශයෙන් අක්ෂර අටක් තිබිය යුතුයි. අක්ෂර 16-20 තිබෙනවා නම් වඩා හොඳයි.
  • සුවිශේෂයි: සෑම වෙබ් අඩවියක් වෙනුවෙන් ම ඔබ භාවිතා කරන මුරපදය වෙනස් එකක් විය යුතුයි.
  • අහඹුයි: ඔබගේ මුරපදයේ පහසුවෙන් අනුමාන කළ හැකි තර්කානුකූල රටාවක් නොතිබිය යුතුයි. මුරපද කළමනාකරණය password managers ඉතා ප්‍රයෝජනවත් වන්නේ මෙවැනි අවස්ථාවකයි.

ශක්තිමත් ම මුරපදවල අක්ෂර, ඉලක්කම් සහ විශේෂ සලකුණු සම්මිශ්‍රණයක් භාවිතා කරනවා. එය ද අනුමාන කිරීම දුෂ්කර එකක් විය යුතුයි. ඇතැම් මුරපද පද්ධති විසින් ඔබට @#$%-=+ වැනි විශේෂ සලකුණු භාවිතා කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙත්, කෙටි මුරපදයකට වඩා දිගු මුරපදයක් හැම විටම හොඳයි.

ඔබ මුරපද නිර්මාණය සහ කළමනාකරණය වෙනුවෙන් ඩිජිටල් සුරක්ෂාව පිළිබඳ විශේෂඥයන් විසින් බොහෝ විට නිර්දේශ කරනු ලබන 1Password සහ KeePassXC වැනි dedicated password manager එකක් භාවිතා කිරීම ඉතා හොඳයි. එම ඇප් එකෙහි අරමුණ වන්නේ ඔබගේ ලොගිං වීමේ අවසරයන් සහ වෙනත් සංවේදී තොරතුරු ආරක්ෂා කරගැනීමයි.

ශක්තිමත් මුරපද නිර්මාණය හා මුරපද කළමනාකරණය පිළිබඳ ඉගෙනීමට “හරි මුරපදය දමාගන්න; ඔබේ මුරපද ශක්තිමත් කරගන්න" හදාරන්න.


3. දෙවන යතුරක් එක්කරගන්න

දෙයාකාරයකින් අයිතිය තහවුරු කරන (two-factor authentication - 2FA) හෝ බහු ආකාර අයිතිය තහවුරු කරන (multi-factor authentication - MFA) ක්‍රම මගින් අදහස් වන්නේ යම් කිසිවකු ඔබගේ මුරපදය සොයාගත්තත්, පිවිසීම සඳහා අවශ්‍ය අතිරේක සාධක නොමැති වීම නිසා එම පුද්ගලයාට පිවිසීම අමාරු විය හැකි බවයි.

මෙම අතිරේක යතුර පිහිටුවාගත හැකි ද යන්න දැනගැනීම සඳහා ඔබ වැඩිපුර ම භාවිතා කරන වෙබ් අඩවිවල සහ ඇප්වල ආරක්ෂක සැකසුම් පිරික්සන්න. මුල්‍ය ඇප් එකක්, සේවා ඊමේල් වැනි වඩාත්ම වැදගත් ඒවායින් ආරම්භ කරන්න.

Google:

 

Facebook:

  • Hamburger menu →
  • Settings
  • Security and Login
  • Use Two-Factor Authentication

උපදෙසක්: තහවුරු කිරීමේ ඊළඟ තලයක් සැකසීමේදී ඔබට ඒ ඔබ බව තහවුරු කිරීම සඳහා දෙවන ආකාරයක් අවශ්‍ය වේ. දෙවන ආකාරය ලෙස ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් යැවීම භාවිතා නොකර සිටීමට උත්සාහ කරන්න. ඔබගේ ජංගම දුරකථනය නැති වුවහොත් මෙමගින් ප්‍රශ්නයක් ඇති විය හැකි ය. ඊමේල් සාමාන්‍යයෙන් වඩා විශ්වසනීය විකල්පයකි.

ඔබගේ ගිනුම් ආරක්ෂා කරගැනීම පිළිබඳ වැඩිදුර දැනගැනීමට "ඔබගේ ඩිජිටල් දොරටුව අගුලු දමාගන්න: ඔබගේ ගිනුමේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න" ලිපිය කියවන්න.


4. ඔබගේ දේපළ රැකගන්න

ඔබ ඔබගේ නිවසේ වටිනා ද්‍රව්‍ය ආරක්ෂා කරගන්නා ආකාරයට ම, ඔබ විසින් අතථ්‍ය ආකාරයෙන් ගබඩා කරනු ලබන තොරතුරු ද ආරක්ෂා කරගත යුතු ය. — ඒ ඔබගේ මුල්‍ය වාර්තා, ඔබගේ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපත් හෝ ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය හෝ විය හැකි ය. කුමක් වුවත්, ඔබගේ වටිනා පෞද්ගලික දත්ත ගබඩා කර තබාගන්නේ කොතැනකද? යන්න සහ ඒවා ආරක්ෂා කරගන්නේ කෙසේද? යන්න ගැන සිතීම වැදගත් ය.

ක්ෂණික පිරිසිදු කිරීමක් ඉක්මණින් යම් වැඩිදියුණු කිරීම් කීපයක් කරගන්නට හොඳයි . ඔබගේ ඊමේල් ගිනුමේ හෝ වෙනත් ගිනුම්වල තිබෙන නිශ්චිත තොරතුරු සොයා තෝරාගෙන මකා දමන්න. උදාහරණයක් ලෙස, ඔබේ හැඳුනුම්පත්වල ස්කෑන් කළ පිටපත්, බැංකු විස්තර හෝ ඔබගේ සෞඛ්‍ය රක්ෂණයේ විස්තර ඒ අතර අඩංගු විය හැකියි. එම විස්තරය ඔබට පසුව අවශ්‍ය යම් දෙයක් නම්, ඊමේල් ගිනුමෙන් මකා දැමීමට පෙර බාගත කරගෙන මුද්‍රණය කර තබාගන්න.

ගැඹුරු පිරිසිදු කිරීමක් යනු, වඩා දැඩි ලෙස කරන පිරිසිදු කිරීමක්. එවැනි පිරිසිදු කිරීමක් අවුරුද්දකට වතාවක් කරන එක හොඳයි. ඔබගේ ඊමේල් ගිනුමේ හෝ සමාජ මාධ්‍ය ගිනුමේ ඇති සියලු දෙය සංරක්ෂණය කරන්න. ඒවා ඔබගේ පරිගණකයට බාගත කරගෙන ගිනුමේ අන්තර්ගතය මකා දමා අලුතින් ආරම්භ කරන්න.

උපදෙසක්: නිකම් ම මකා දමන්න එපා. ඔබගේ ට්‍රෑෂ් ගබඩාව හෙවත් මකා දමන ලද ගොනු තැන්පත් වන ගොනුව ද, තාවකාලික ගොනු ද මකා දමන්න.

ඔබගේ සංරක්ෂණය කරන ලද ගොනු සහ ලේඛන ක්ලවුඩ් අවකාශයක් වෙත ඇතුළත් කර ආරක්ෂා කරගන්නවා ද, නැතිනම් බාහිර දෘඪ තැටියක හෝ USB මතක පතක ගබඩා කරගන්නවා ද යන්න ඔබ විසින් තීරණය කළ යුතු ය. ඔබ කෙසේ ආරක්ෂා කර තබාගත්තත්, එය ඔබට අහිමි නොවන බව හා මුරපදයක් මගින් අගුලු ලා ඇති බව තහවුරු කරන්න.

ඔබගේ අන්තර්ජාල තොරුතුරු ආරක්ෂා කරගැනීම පිළිබඳ වැඩිදුර ඉගෙනීමට, “ඔබගේ අතථ්‍ය දේපළ රැකගන්න: ඔබ අන්තර්ජාලයේ ගබඩා කරන දෙය රැකගන්න" යන ලිපිය කියවන්න.


5. පණිවුඩය ගෙන යන්න

දැන් අමතක වී තිබුණත්, වෙබ් අවකාශයට ඒ නම ලැබුණේ හේතුවක් ඇතුවයි. ඒ විවිධ ජාලයන් ඔස්සේ අප සියලු දෙනා අන්තර්ජාලයෙන් එකට සම්බන්ධව සිටින නිසායි. සමාජ මාධ්‍ය “මිතුරන්"ලෙස පමණක් නොව, ඊමේල් සම්බන්ධකම් සහ අප අන්තර්ජාලයේ බෙදාගන්නා ඡායාරූප ඔස්සේ ද අප සම්බන්ධව සිටීි.

ඔබ ඔබගේ ගිනුම ආරක්ෂා කරගන්නා විට, මුරපදය ශක්තිමත් කරගන්නා විට සහ දත්ත පිරිසිදු කරන විට, එයින් වාසි සැලසෙන්නේ ඔබට පමණක් නොවේ. ඔබගේ ප්‍රයත්නය නිසා ඔබ සමග සම්බන්ධ වී සිටින සියලු දෙනා මඳ වශයෙන් හෝ සුරක්ෂිත වෙති.

ඔබ ඔබගේ ඊමේල් සහ සමාජ මාධ්‍ය ගිනුම් පිරිසිදු කරන විට, ඔබට බාගත කරගෙන මකා දැමිය හැක්කේ තව මොනවා ද යන්න ද සලකා බලන්න. එමගින් ඔබගේ මිතුරන්ට, වෘත්තීය සගයන්ට, කාර්යාලයට උපකාරයක් වන්නට පුළුවන්. ඔබ ළඟ තිබෙන වෙනත් අයෙකුගේ ලේඛනයක් වැරදි අතකට යාමෙන් අනවශ්‍ය කරදරයක් ඇතිවන්නට පුළුවන්.

පණිවුඩය ගෙන යන්න. ඔබගේ ඩිජිටල් සුරක්ෂාව මූලික පියවර කීපයක් අනුගමනය කිරීම තරම් සරල වෙන්නට පුළුවන්. මෙම දත්ත විෂහරණ කට්ටලය ඔබගේ මිතුරන්, පවුලේ අය සහ වෘත්තීය සගයන් සමග බෙදාගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි චර්යාවන් වෙනස් කරගැනීමට ඔවුන් පොළඹවන්න.

මෙම පියවර සාර්ථක වුවහොත්, ඔබට සැනසුමක් දැනේවි. ඉතින් ඔබගේ අලුත් ජංගම දුරකථනය සැලකිල්ලෙන් සකසාගන්න.

අවසන් වරට යාවත්කාලීන කළේ: 6/9/2020